Thursday 2 December 2010

අගක් මුලක් නැති වාක්‍ය රචනා



මේ වගේ නමක් තියෙන බ්ලොග් එකකුත් තියෙනවා. ඒත් මේ ඒ ගැන නොවෙයි. 
සමහර විට අහළා ඇතිනෙ දුම්රිය පොළේ විස්තර කථනය.
“සවන් දෙන්.....තුවන වේදකාවට පැමිණි දුම්රිය.....“ 
ඔන්න ඔය විධියට. ටිකක් සෙවිල්ලෙන් අහගෙන හිටුයොත් මේ වාක්‍ය වල අගක් මුලක් ගැලපීමක් නැති බව පේනවා. 
මේ තියෙන්නෙ හවස 5.55 ට කොළඹින් ගාල්ල (ඉස්සර මාතර) යන දුම්රිය පානදුර දුම්රියපොළට ළඟ උනාම කරන විස්තර කථනය.


“සවන් දෙන්. තුන්වන වේදිකාවට පැමිණි දුම්රිය තව  ස්වල්ප වේලාවකින් ගාල්ල බලා පිටත් වේ. එම දුම්රිය නවත්වන්නේ  දකුණු කළුතර, අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව සහ ගාල්ල යන දුම්රිය ස්ථාන වල නවත්වනවා ඇත.“ 


ආයිත් කියවලා බලන්න. අඩුවක් පේනවා නේද? ඒත් බොහෝ දුම්රිය වලට මේ විධියටම තමයි කියන්නෙ. ඔය වාක්‍ය හදාගන්න කිසි උනන්දුවක් නැහැ. හරිම සරල දෙයක්නෙ.


අනික් දේ තමයි බොහෝ ස්ථාන වල මේ කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.


හදාගන්න උවමනාවකුත් නැහැ වගේ. 

Tuesday 9 November 2010

නිර්මාණශීලීත්වය



නිර්මාණශීලීත්වය යනු මේ යැයි නිශ්චිතව කිව නොහැකි දෙයකි. විවිධ දේ ඒ තුළින් කළ හැක. තවත් අයුරකින් කියනවා නම් අන් අය සිතනවාට වඩා වෙනස් අයුරකින් සිතන්නට හැකි නම් එහි නිර්මාණශීලීත්වයක් තිබේ. මේ දේ කියන්න සිතුණේ අද දුම්රියේ දුටු දෙයක් නිසා.
සමහර විට දැකලා ඇති මත්ද්‍රව්‍ය විරෝධී ආයතනයක් විසින් අලවා ඇති පහත දැන්වීම
“මොනවා තිබුණත් අරක්කු සැපයි කියලා හිතන් ඉන්න එකෙක් බඳින්න උනොත් ජීවිතේම දුක තමයි“

මේක බැලූ බැල්මට වෙනස් කරන්න ටිකක් අමාරුයි වගේ නෙ. නමුත් මේකත් ටිකක් වෙනස් කරලා. ඒ කියන්නෙ “අරක්කු“ කියන වචනේ ‘ක්‘ නෙ හල් කිරීමයි ඊළඟ “ක“ යන්නයි, “සැපයි“ කියන වචනේ “ස“ යන්නට තියෙන ඇලපිල්ලයි  ඉවත් කරලා. 
දැන් හැදෙන්නෙ වෙන දෙයක්නෙ. (ටියුබ් ලයිට් අය ලියලා මකලා බලන්න)

කැටයම් කරුවෙකුට ලී කොටයකින් ඕනෑම කැටයමක් කරන්න පුළුවන්. ඒ වගේ ගල් වලින් ප්‍රතිමා නෙළන අයෙකුට ගල් කැබැල්ලකින් හෝ විශාල ගලකින් සිත් ඇදගන්නා සුළු ප්‍රතිමාවක් නිර්මාණය කළ හැකියි. 
මේකත් අන්න ඒ වගේ දෙයක්.

Monday 27 September 2010

‘පැනඩියුරා‘ ජීවී විශේෂය


මේක මට අපේ මාමා කෙනෙක් කිව්වෙ. ජීව විද්‍යාව උසස් පෙළට කරන ශිෂ්‍යයින්ට අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමා ප්‍රායෝගික පරීක්ෂණ. විෂයයන් සියල්ලටම මේ දේ අනිවර්යනෙ. 

ඉතිං ඔන්න එක දවසක් ලැබ් එකට කට්ටිය ගිහිල්ලා දැන් පරීක්ෂණ වලට සූදානම. ඔන්න අන්වීක්ෂ ලැබුණා සේරටම. ඊට පස්සේ නියැදි, ඒ කියන්නේ අපි ඔය කියන්නෙ “ස්ලයිඩ්“ කියලා, ටීච ඔන්න ඒවත් සුදුසු පරිදි දීගෙන ගියා.

දැන් කට්ටියට හදිසියි මේකෙ තියෙන්නෙ මොනවද කියලා බලන්න. දැම්මා අන්වීක්ෂයට. බැලුවා. ම්හු.... තේරෙන්නෙ නැහැ. හදිසිය තව වැඩියි අනික් කට්ටියට කලින් සොයා ගන්න. අන්වීක්ෂයෙන් බලලා තේරෙන්නේ නැති නිසා ස්ලයිඩ් එක අරන් බැලුවා. හරිනෙ. මේ තියෙන්නෙ නම ඉංග්‍රීසියෙන්ම ගහලා.

දැන් හරි සතුටුයි. ටීච අවා. ආපු ගමන් කොල්ලො කෙල්ලො ටික කියපි “හරි ටීච අපි දන්නවා. මේකෙ නම. 

“පැනඩියුරා විශේෂය“.

ටීච උඩ බිම බැලුවා. 

“ඒ වගේ විශේෂයක් දීලා නැහැනෙ“

“නැහැ ටීච මේක ඒක තමා“

“මේ බලන්නකො ටීච මේ මෙතන ගහලා තියෙන්නෙ.“ කියලා ස්ලයිඩ් එකේ ඉංග්‍රීසියෙන් මුද්‍රණය කරපු එක පෙන්නුවා.

ටීචටත් වැඩේ තේරුණේ එතකොටයි.

ඒ තිබිලා තියෙන්නෙ මේ ස්ලයිඩ් එක හදපු සමාගමේ ලිපිනයේ අන්තිම පේලිය.

ඒකෙ ලියලා තිබිලා තියෙන්නෙ PANADURA කියලා.

අර විද්‍යාත්මක නම් කියවන්නෙ ටිකක් අමුතු විධියටනෙ. මේ කට්ටියගේ වෙලාවට අර නමත් ඒ විධියට කියවන්න පුළුවන්.

Friday 24 September 2010

පානදුර ද පාණදුර ද පානදුරෙයි ද - මොකද්ද හරි




ඔය පින්තුර ටික පානදුර දුම්රිය පොලේ තියෙන බෝඩ් ලෑලි ටික. එක එක ඒවයේ තියෙන්නෙ එක එක විධියට. හැබැයි ඒ වෙනස තියෙන්නෙ සිංහල ඒවයේ විතරයි. දෙමළයි ඉංග්‍රීසි හරියට ලියලා තියෙනවා. මේවා වෙනස් කරන්නෙත් නැහැ. සමහර විට පෞරාණික දේවල් රකිනවද දන්නෙත් නැහැ. නිකමට වගේ පානදුරේ ස්ටේෂමට ගිහින් බලන්න. තවත් ඒවා තියෙනවද දන්නෙ නැහැ මේ වගේ.

Thursday 23 September 2010

දැන් සින්ඩියේ

මම මේ බ්ලොග් එක පටන් ගත්තේ එදිනෙදා දකින දේවල් ටිකක් කථා කරන්න. ඒකෙන් අළුත් දෙවල් හිතන්න. විනෝද වෙන්න. අද සිංහල බ්ලොග් සංසදයෙන් දැන්වූවා මේ බ්ලොග් එකත් සින්ඩියට එකතු කලා කියලා. 
ඉතිං අද ඉඳන් මම දකින දේ ඔයගොල්ල දකින දේත් අතර හොඳ සුසංයෝජනයක් මේකෙ තියෙයි. දැනට මම ලියලා තියෙන දේවල් කීපය බලන්න.
සින්ඩියට ස්තුතියි.
ජයශ්‍රී

Tuesday 14 September 2010

සීට් දානය


ටික දවසකින් ලියන්න බැරි වුනා. පසුගිය දවසක බස් එකේ යනකොට ඔන්න ඉස්සරහම සීට් එකේ ඉදගෙන සිටියෙ ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. දෙන්නට දෙන්න අඳුරන්නෙ නැහැ. ඔන්න ටික දුරක් යන කොට නැග්ගා බබෙක් හම්බ වෙන්න ඉන්න ගෑණු කෙනෙක් ඉස්සරහින්. දැන් අර මුලින් කියපු ගෑණු කෙනාට ඇස් පේන්නෙ නැතිව ගියා. ඒ කියන්නෙ දැං නැගපු කෙනාගෙ තත්වෙ පේන්නෙ නැහැ. අනේ ඉතිං අර පිරිමි කෙනා නැගිටලා සීට් එක දුන්නා. තවත් ටිකක් දුරක් යන කොට නැග්ගා ළමයෙන් වඩාගෙන ගෑණු කෙනෙක්. අර අපේ “කතන්දර“ ගෙ මොන්ටිසෝරි අම්මලා වගේ තමයි. ඒත් අර ගැණු කෙනා නෙමේ හෙල්ලුනෙ. ඊට පස්සෙ පිටිපස්සෙ හිටිය පිරිමි කෙනෙක් සීට් එක දුන්නා. 
තවත් දවසක් මගේ නෝනත් එක්ක කෝච්චියෙ එනකොට එයාටත් ඔහොමම උනා. එයත් ඔය වාගේ අපහසු තත්වයකනෙ සිටියෙ. එතන ඉඳගෙන හිටපු ගෑණු අය සේරම පත්තර තවත් ටිකක් උස්සගෙන කියවන්න පටන් ගත්තා. ටික වෙලාවකින් එතන හිටපු පිරිමි කෙනෙක් නැගිටලා ඉඩ දුන්නා. පස්සේ ඒ පිරිමි එක්කෙනා මගේත් එක්ක කියනවා “මල්ලි මගේ කලිසම පිටිපස්සේ ඉරිලා. ඒකයි මම ටිකක් නැගිටින්න පරක්කු උනේ. ඒත් කවුරුවත් සීටි එකක් නොදුන්න නිසයි මම නැගිට්ටෙ“ කියලා. 
ඇත්තටම ඔය වාගේ අවස්ථාවල ගෑණු අය සීට් දෙන එක නම් හරිම අඩුයි. දෙන්නෙම නැති ගාණයි. ඒත් ඉතිං ඔය අමාරුව ගැන දන්නෙ හරි අනාගතේ දැනෙන්නෙ හරි ගෑණූ අයටනෙ. ඒත් ඒ ගැන හිතන්නෙ නැහැ. 
මෙතනදි මට මගෙ යාළුවෙක් කියපු දෙයක් මතක් වෙනවා. මෙයා ඔය “බූන්දි“යට ඒමෙ ලියන චූලානන්ද අයියා. එයා කියනවා බඩදරු අම්මා කෙනෙක් නැග්ගොත් සීට් එක දෙන්න ඕනා ගැහැණු කෙනෙක් කියලා. මොකද ඒකෙ අමාරුව දන්නේ ඒ අය නිසා. නමුත් බීපු මිනිහෙක් නැග්ගොත් සීට් එක දෙන්න ඕන පිරිමි කෙනෙක් කියලා. මොකද ඒ අමාරුව දන්නෙ පිරිමි කෙනෙක් නිසා.

Tuesday 7 September 2010

තමුසෙ නගරාධිපතිද?


සුපුරුදු ලෙස ඊයෙත් කොම්පඤ්ඤවීදියෙන් හවස 5.45 ට තියෙන කෝච්චියෙන් ගිහින් පානදුරේ බහින කොට රෑ 7 ට විතර ඇති.ඉතිං දුවෙගන ගිහින් නැග්ගා හොරණ බස් එකකට. සෙනග නැහැ. බලනකොට කොන්දොස්තර කෑ ගහනවා බණ්ඩාරගමින් එහා විතරයි කියලා. අනේ තවත් හොඳයිනෙ. ඉක්මනටගෙදර යන්න පුළුවන්නේ කියලා හිතලා සැනසීමෙන් සිටියා. මිනිස්සු ආවා. සමහරු කොන්දොස්තරගේ ගෝරනාඩුව අහලා බැහැලා ගියා. ඉතිං කොන්දොස්තර කියනවා “මේ යන මිනිස්සු හොරණට ගිහින් ආයි තව බස්වලත් යන්න ඕනනෙ. අපි මේ රු. 6 ටිකට් වලට කට්ටිය ගත්තම අර ඈත යන මිනිස්සුන්ට ගෙදර යන්න වෙන්නෙත් නෑ“ කියලා. මිනිහා මිනිහගෙ වැඩේ සාධාරණිකරනය කළා. ඒත් අපි දන්නවා මූ බස් එක ඇදපු වෙලාවෙ ඉඳන් මග සේරම අහුලනවා කියලා.


කොහොම හරි කොන්දොස්තර දැන් සල්ලි එකතු කරන්න පටන් ගත්තා. ඒ අතරේ මගට නැගලා ඉන්න අයවත් අර උදාන වාක්‍ය දාලා බැස්සෙව්වා.

ඔය අතරේ පිටිපස්සෙ දොරෙන් නැගපු සරමක් ඇඳපු මැදිවියේ පුද්ගලයෙක් ඉඩ තිබු අසුනක ඉඳගත්තා. දැන් කොන්දොස්තර ටිකට් කඩාගෙන ඇවිත් මේ පුද්ගලයා ගාවටත් අවා. අර මනුස්සයා රු. 10 ක් දීලා එළුවිල කියපි. එළුවිලට රු. 6 යිනෙ. කොන්දොස්තරගේ උදාන වාක්‍ය වඩාත් සැරට ඇහෙන්න ගත්තා. 
ඒ පාර අර මනුස්සයා අහනවා “ඇයි මේක එළුවිලින් යන්නෙ උඩින් ද?“ කියාලා. කොන්දා තකියනවා “උඩින් හරි බිමින් හරි මගට ගන්නෙ නැහැ. බැහැලා යනවා“ කියලා. 
අර මනුස්සයා ආයෙත් කියනවා “තමුසෙලා මෙතන එකක් කියලා ඊගාව හෝල්ට් එකේ ඉඳන් මගට ගන්නවා. ඉන්නවාකො මම බලා ගන්නම්“ කියලා.

එතකොට  කොන්දොස්තර අහපි. “බලාගන්න. ඇයි තමුසේ නගරාධිපති ද?“ කියලා.

තවත් මොන මොනවාදෝ කියලා ඒ මනුස්සයා බැහැලා ගියා. එයා කිව්වා වාගේ ඊළඟ හෝල්ට් එකේ ඉඳන් මගට ගත්තා.

ඔන්න ඕක තමයි මාෆියාව.

Monday 6 September 2010

කෝච්චියේ සුපර් ස්ටාර්



අද උදේ අළුත්ගම ඉඳන් මරදානට ආව කෝච්චිය පානදුරේට ආවෙ 7.10 ට විතර. සාමාන්‍යයෙන් කරදරයක් නැතිව වෙලාවට කොළඹට එන්න තියෙන කෝච්චිය තමයි මේක. අනික ටිකක් සෙනගත් අඩුයි. සමුද්‍රෙද්වියයි සාගරිකයි ඉතිං අයන් අරන් නගින්න ඕන ඒවනෙ. මම කෝච්චියෙ එන්නෙ ඉස්සරහම. මොකද ෆ්ලැට්ෆෝම් පනින නිසා සෙනග තවත් අඩුයි. 
අද ඉස්සරහට යන කොට ඇහුණා සිංදු කෑල්ලක්. කොහොමත් ඉතිං සින්දුවක් අහ අහ යන්න තියෙනවනං මරුනෙ. නැග්ගා එතනට.මෙන්න බොලේ කෝච්චියෙ එන සෙට් එකක්මයි සිංදු කියන්නෙ. එච්. ආර්. ජෝතිපාල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග් වගේ අයගෙ තමයි සින්දු ටික. අනික හෙන හයියෙන් සද්දෙට කියනවා. නියම තාලෙට කියන්නෙ. 
කෝච්චියෙ යන මේ මිනිස්සුන් විවිධ ප්‍රශ්ණ වලින් පීඩා විඳින අයයි. ඒත් මොහොතකට හරි ඒ දේවල් අමතක කරලා විනෝදයක් ලබන එක හරිම හොඳයි. අපිටත් හොඳයි නෙ.

Friday 20 August 2010

හැඳින්වීම

මම හැමදාම යන්නෙ එන්නෙ බස් එකෙයි කෝච්ච්යෙයි නෙ. ඒ යන එන කොට සිද්ධ වෙන සුළු සුළු දේවල් වුණත් ටිකක් දුරට කල්පනා කරන්න පුළුවන් දේවල්. ඒ විතරක් නෙමේ සමහර වෙලාවට හිනා යන තවත් සමහර වෙලාවට තරහා යන ඒ වගේම දුක හිතෙන දේවල්. 
ඉතිං මට හිතුණා මේවා ලියන එක ඒ ගැන කථා කරන එක හොඳයි කියලා. අද ඉඳන් ඉඩ ලැබෙන හැම වෙලාවකම එක එක කථාව ලියන්න තමයි අදහස.